මගේ නිර්මාණ කියවූවන්

Friday, August 19, 2016

පුංචි පුතේ


ලේ ගලෙන හිසේ
රිදුම ගතේ
දැනිලාදෝ,
නොදැනීදෝ
ඉන්නේ මෙසේ...
පුංචි පුතේ
නුඹේ හිතේ
සවිය කොතෙක්දෝ......


Thursday, August 18, 2016

ඉඳුරිසි අභිමානය


ඉඳුරුව මහ විදුහලේ දී
සංගීතයක් තියෙනවා යැ'යි
දෙසවන වැකුණු මොහොතේ
සිතට දැනුණේ මහත් සතුටකි...........


දිවි මංපෙත පෙන්වා දුන්
ගුණ නැණ බල පාදා දුන්
විදු මව් වෙත පිය මැන්නා
දෙවසරකට පෙර එක් සොඳුරු සෑදෑවක.......
සිහි වුණි පෙරදා අකුරු උගත් හැටි
ඒවේලේ නැඟුණි නෙත් අඟට
තුටු පඬුරු කඳුලක්......


අරුතෙන් ම එය
සසල හදවත්
නිසල කරනා
ප්‍රිය උපදවන
වින්දනයක්ද ගෙනදුන්

සොඳුරුතම වූ
සැඳැවක් විය...


එදවස පටන්
අදියර තුනකුත්
පෙරට ඇවිදින්


ඉඳුරුවේ මිණිපහන්  ටැඹ
නොනිමි දල්වන්නට
නිබඳවමවෙර දරණ

ආදි සිසුවනි..........
විදුහලේ අභිමානය නුඹයි....
නුඹේ නමින් පිදෙනා
සදාදර උපහාරයයි මේ.......





Wednesday, August 17, 2016

සරල කතාවක්

              Image result for house   
      සරල


  වසර කිහිපයකට පෙර නිවසක් තැනීමට දැමූ අත්තිවාරම වසාගෙන ඉහළට වල් පැළැටි මතු වී තිබුණි. මොහොතක් ඒ දෙස බලා සිටි සරලා කල්පනා සයුරේ ගිලිණි. ඇය පාසලේ නවය පංතියේ දී තාත්තා විසින් නිවසක් තැනීමේ කටයුතු ආරම්භ කරද්දී ඉහේ මලක් පිපුණාක් මෙන් උනන්දුවෙන් පුළුවන් විදියට ඊට සහය වූ සැටි ඇයට සිහිපත් විය. එසැණින් ඇගේ මුවින් ගිලිහුණේ,

"ඒත් තාත්තාගේ බේබදුකම නැති වෙච්ච නැති නිසානේ මේක අත්තිවාරම විතරක් වුණේ”

 උසස්පෙළ ප‍්‍රතිඵල පිටවීමට තවත් කාලයක් ගතවන නිසා ඇය තවත් යෙහෙළියන් කිහිපදෙකේ සමඟ සිදාදියට සෙන්දු වුයේ කෙසේ හෝ ජීවිතය ජය ගැනීමේ අරමුණින් යුක්තවය. ඇඟළුම් කම්හලක සේවයට එක්වුණු ඇයට එහි ප‍්‍රවාහන පහසුකම් සහ කෑම බීම සපයාදීම මහත් අස්වැසිල්ලක් විය. කොතරම් අඩු පහසුකම් තිබුණ ද ඇය දිරිමත් කෙල්ලක් විය. කා අතරත් ජනප‍්‍රිය, ප‍්‍රසාදයට පත් විය.

ආපන ශාලාවේදී දිනක්,
              "සරලා නම් මාර නීට් කෙල්ල, එක පාරක් කියල දුන්නම මහනවා හැඩට එක ඩැමේජ් එකක්වත් නෑ ’යි යෙහෙළියන් කතාබහක යෙදුණාය.

මේ අතර සරලාගේ ළඟ ම මිතුරිය වුයේ කසුනි අක්කා ය. දිනක් කසුනි අක්කා පැවසූ වදනකින් සරලාගේ ජීවිතය වෙනස් මඟක් ගන්නට විය. එය අපූරු දවසකි. එදා වැඩ අඩු තරමක් නිදහස් දවසකි. කසුනි අක්කා තම සිතෙහි මෝදුවන අදහසක් සරලා සමඟ පැවසීය.
                        "නංගියේ මට මේ ළඟදී දවසක මං රට වැඩ කරපු නෝනා කතා කළා එයා කියනවා මං වගේ හොඳට වැඩ කරන කෙනෙක් තාම ලැබුණේ නැතිලූ. ආයෙමත් එන්ඩ කිල මට වදේ. සිනහවකින් මුව සරසාගත් කසුනි අක්කා සරලාගේ අත්න් අල්ලා ගනිමින් මෙසේ පැවසුවා ය. ”ඒක නෙවෙයි හොඳ කාරණේ මට විශ්වාස තව හොඳ ගෑණු ළමයෙක් එක්ක එන්ඩ කීවා පුළුවන් නම් ”

 කසුනි අක්කා මේ කියපු දේ ඇසීමෙන් සරලාට සිහි වුයේ කසුනි අක්කා කලින් තමා සමඟ පවසා ඇති දේවල් ය. වසර 3ක් පමණ විදේශ රටක සේවය කොට තමාගේ රන් ආභරණ සාදා ගත්  සැටිත් ඒ විතරක් නොව ඉඩමක් මිලට ගත් සැටිත් කසුනි අක්කා නිතර නිතර දැඩි සතුටකින් යුතුව පවසන අයුරු ඇයට මතකයට නැඟිණි.

 තවත් ටික වේලාවකින් කසුනි අක්කා තවත් යමක් පැවසුවා ය. ඒ පිළිබඳව එවේලෙහි ප‍්‍රශ්න කිරීමට නොගිය ද සරලාගේ සිත මඳක් චංචල විය. කසූ අක්කා පැවසුවේ,
              "මේ නංගියේ දවල්ට කාලා ආවහම මං උඹට හොඳ ම වැඬේ කියන්නම්කෝ”

 නිම කිරීමට තිබූ  වැඩ නිමා කරන විට දහවල් ආහාරය සඳහා කාලය එළඹී තිබිණි. කසූ අක්කාත් කැටුව දිවා ආහාරය ලබා ගැනීමට ගිය සරලාගේ සිතෙහි කසූ අක්කා මුලින් කියූ දේ ගැන උනන්දුවක් ඇති විය. වෙනදාට වඩා ආහාරවල රසවත් බවක් ද දෙදෙනාට ම දැනී තිබුණි. ආහාර ගෙන අවසන් වී එන අතරමඟ දී කසුනි අක්කා
         ”මං කීවේ අර නෝනා කිවුවා කියලා තව හොඳ කෙනෙක්ව එක්කන් එන්න කියලා................. ඉතිං....... මං හිතුවා හොඳ ම කෙනා නංගි ඔයා කියලා............. මොකද කියන්නේ?”

 ආපන ශාලාවත් වැඩ කරන ශාලාවත් අතර අරලියමල් ගස් පෙළකි. කසුනි අක්කාගේ කතාව අවසන් වන විට ම වාගේ සරලාගේ හිසට අරලිය මලක් වැටුණේ ඉහේ මලක් පිපුණාක් මෙනි. කසූ කියූ දෙයින් ඇය ඉතා ප‍්‍රමෝදයට පත් වූයේ පිටරටක සේවයට ගොස් සේවය කොට තම සිතැඟි ඉටු කරගැනිමට පුළුවන් නම් කොයි තරම් දෙයක් ද යන්න කාලයක පටන් තම සිතෙහි දළුලා වැඩුණු අදහසක් වූ හෙයිනි. එහෙත් සරලාගේ මුවට නැඟුණු සුන්දර සිනහව මොහතකින් වියැකී යන සැටි දුටු කසූ වහා ඇගේ සිතැඟි තේරුම් ගත්තා ය.

        "උඹ බය වෙන්න එපා නංගියේ මැඩම් අපි දෙන්නට ම ටිකට් එවනවා. සල්ලි ගැන වද වෙන්න එපා.”

 මේ වදන් හදේ දැල්වුණු සෝක ගිනි නිවන සිසිල් දිය පොදක් විය. සියල්ල මෙසේ වුවත් ගෙදර ගිහින් අම්මාගෙන් අවසර ගතයුතු බව සරලා කසූ අක්කා සමඟ පැවසුවා ය. එදා ඇය නිවසට ගියේ තමාගේත් නිවැසියන්ගේත් ප‍්‍රශ්නවට කදිම විසඳුමක් ලැබූණායැ’යි සිතට දැනෙන සතුටකින් යුතුව ය.

 වෙනදාට වඩා සරලාගේ මුහුණේ පිරුණු සතුටක් දුටු සරලාගේ මවට යම් බියක් දැනෙන තරමට අමුතු ම එළියක් සරලාගේ වතෙහි විය. සරලාගේ පසුපසින් ගිය මව

         "කවදාවත් නැතුව ආ මොකද උඹේ මූණේ අමුතු සිරික්කියක්”
 මව ඇසූ පැනයෙන් සරලා විමතියට පත් විය.

         "අනේ අම්මා ඇයි මේ අඟට කඩා පනින්න වගේ කතා කරන්නේ මොකද දන්නවද අද මගේ මේ සතුට කසුනි අක්කා මට කතා කළා එයත් එක්ක රට යන්න එන්න කියල. මං අම්මට කියල තියෙනවනේ කසූ අක්කා ඒ ගැන මගෙත් එක්ක කියපු කතා. අනික ඒ මැඩම් අපි දෙන්නට ම ටිකට් එවනවලූ.”

 සරලා ගිරවියක් මෙන් කියවගෙන ගොස් හමාර වන විට ඇගේ මුව සතුටින් ඉපිලී ගිය ද මවගේ මුහුණෙු වූයේ කණස්සලූ ගතියකි.

 "අනේ බං උඹලගේ තාත්තා බි බී දැඟලූවට දැන් ඒකත් අඩුයි. අනික උඹලව හැදුවේ පර රට්ටුන්ගේ කකුස්සි හොදන්න නෙවෙයි. අනික අහන කතාවල හැටියට හිතකින් යවන්ඩ පුළුවනැ ඔය දේස දීපංකරේ.”

 "අනේ අම්මා කසුනි අක්කාත් යනවනේ. ඒ නිසා ඉය වෙන්න එපා. මට  ඕන අපේ මේ ගේ හදා ගන්න. මං පරිස්සම් වෙන්න්ම්.”
 මෙවැනි වදන් රැසක් පවසා සරලා අම්මාගේ කැමැත්ත ලබා ගැනීමට සමත් වූවා ය. අනතුරුව ඇඟපත සෝදා රාත‍්‍රී ආහාරය ගෙන නින්දට වැටුණා ය. එහෙත් ඇයට නින්ද ඉක්මනින් ළඟා වුයේ නැත. මේ අතරතුර අම්මා තාත්තා සමඟ මොනවදෝ මුමුණනවා ඇයට ඇසිනි.
  පසු දින උදේ අවදි වුණු ඇය ඉවුම් පිහුම් කටයුතු සඳහා මවට සහය විය. තාත්තා ඔවුන් දෙදෙනා අතරට පැමිනි තාත්තා
"මං උඹලට හරියට යුතුකම් ඉටු නොකළ එක ඇත්ත, ලොකු එකී නිසා උඹට ගෙදර බරත් තියෙනවා. ඒත් ඔය යන්න හදන ගමනට නම් මගේ මනාපයක් නෑ. කසුනි දුවත් යන නිසා මං පොඞ්ඩක් හිතල බලන්නම්කෝ”
            තාත්තාගේ ප‍්‍රතිචාරය පිළිබඳව ඇය පුදුම විය. වෙනදාට වඩා උනන්දුවකින් සේවා ස්ථානයට ගිය සරලා  කසුනි අක්කා සමඟ සියල්ල පැවසුවා ය. ගතවුයේ ඉතා කෙටි කාලයකි. සරලා ජෝර්දානය බලා කසුනි අක්කා සමඟ පිටත් විය. ගුවන් ගමනින් සරලා මහත් වින්දනයක් ලැබී ය.
             කසුනි අක්කා සේවය කරන නිවස අසල ම ඇයට ද සේවය කිරීමට පහසුකම් සැලසීම දෙදෙනාට ම මහත් අස්වැසිල්ලක් විය. දවසේ වැඩ කටයුතු පිරී තිබුණ ද හාම් පුතාගේ සහ නෝනාගේ කරුණාව මැද සියල්ල සතුටින් කිරීමට ඇයට හැකි විය. එහෙත් සමහර දිනවල අම්මා තාත්තා සිහි වී හොරෙන් හොරෙන් ඉකි බිඳින අවසිථා ද තිබිණි.

                        "අනේ මගේ අම්මා ළඟ හිටිය නම්” කියල මුවින් ගිලිහුණු වාර අනන්තයි. මේ සියලූ දේ මැද ඇය ගෙදර වියදමට මුදලූත් නිවස තැනීමට අවැසි මුදලූත් යැවුවා ය. මුදල් අතේ ගැවසෙන විට තාත්තා ආයෙත් බේබදුකමට ඉස්සර වගේ ම පුරුදු වේ ය’යි යන බියෙන් ඇය නිවසක් තැනීමට අවැසි මුදල් වෙනම ගිණුමකට බැර වන පරිදි සකසා ගත්තේ බැංකු නිළධාරනියකගේ උපදෙස් පරිදි ය.

                    වසර තුනකට පසුව නැවත ලංකාවට පැමිණෙන දිනය ළං විය. කසුනි අක්කා තවත් වසර දෙකක් සිටින නිසා ඇයට තනිව ම ලංකාවට ඒමට සිදු විය. තමාට හොඳින් සැලකූ අය දමා ඒමටත් කසුනිගෙන් වෙන් වීමටත් ඇ තුළ ඇත්තේ මහත් දුකකි. ඒත් දැන් ලංකාවට ගිය විගස නිවසේ වැඩ කටයුතු ආරම්භ කළ යුතු ය. නිවසක සිහිනය හැබෑකර ගැනිමට ඇයට සැලසි ඇති අවස්ථාව සම්බන්ධයෙන් පවතින්නේ කියා ගන්නවත් බැරි සතුටකි. නැවත ලංකාවට පැමිණිමට ගුවන් තොටුපලට ගිය ඇය කසුනි අක්කාට වැඳ පිං දුන්නා ය. ගුවන්යානයට ගොඩවීමට සැරසෙන විට ම ඇයව කවුදෝ සොලවනවා සේ ඇයට දැණිනි.

              "ඒ බොල කෙල්ලේ උඹට මේ මොකක් වෙලා ද ඇයි මේ අඬන්නේ? දැන් වේලාව කියද? හතත් පහුවෙලා නැඟිටපං අන්න උඹව හම්බවෙන්ඩ නෝනල මහත්තයල වගයක් ඇවිත්. ගිහින් බලපං”

           මේ වදන් ඇසෙත් ම ඇය සිහිනයකින් අවදි වූ බව දැනිනි. වහා ළිඳ ළඟට දිවූ ඇය මුහුණකට යන්තමට හෝදගෙන මිදුලට ආවා ය. ඇගේ නෙත යොමු වුයේ තම මිදුල අයිනේ පාරේ නවතා තිබූ වෑන් රිය වෙත ය. එහි දැන්වීම දුටු සරලා විමතියට පත් විය. එහි වූයේ ”ජනසෙත නිවාස සහන සංවිධානය” ලෙසට ය. ඇයට සියල්ල වටහා ගැනිමට හැකි විය. මෙකි සංවිධානය මඟින් පවත්වන ලද තරඟයකට තමා නිර්මාණයක් යැවූ බව ඇයට සිහිපත් විය.
                 පෙරදින රාත්‍රියේයේ තමා සිහිනයෙන් අමාරුවෙන් ඉටු කරගත් දේ දැන් ඇස් ඉදිරියේ ඇත. මෙතරම් සරලව සිහිනය ඉටු වූ බව සරලාට සරල පැනයක් නොවුණි.

Tuesday, August 16, 2016

බෙන්තර අතුරුවැල්ලේ උපන් සාහිත්‍යය නිර්මාණකරු

පියදාස සිරිසේන ශූරීන්

Image result for piyadasa sirisena




1875 අගෝස්තු 31 වැනිදා දොන් ජුවන් අප්පුහාමි ගේ පේදිරිස් සිල්වා නමින් ළදරුවකු උපත ලැබුවේය. ඒ බෙන්තර වළල්ලාවිට කෝරළයේ ඉඳුරුවේ අතුරුවැල්ලේ දීය. කුඩා පේදිරිස් කතාවට මෙන්ම ගායනයට ද දක්ෂ විය. එනිසාම ඕනෑම සබයක කවියක් හෝ කතාවක් කිරීමට නොපැකිලිව ඉදිරිපත් විය. මෙසේ දිනක් එක් සබයකදී කවියක් ගායනා කළ පේදිරිස් දරුවා එක් විද්වතෙක් තමා වෙතට ඔහු කැඳවා ගත්තේ ය. ඒ විද්වතා නම් අන් කවරෙක් වත් නොව අනගාරික ධර්මපාල තුමා ය. මේ දරුවාගේ කවි ගායනාව පිළිබඳ පැහැදුණු ධර්මපාල තුමා ඔහුගේ නම ඇසූ පමණින් එය නුසුදුසු බව වටහා ගත්තේය. ඒ අනුව ඔහුට සුදුසු නමක් තැබීමට ධර්මපාල තුමා කටයුතු කළේය. ඒ අනුව පේදිරිස් සිල්වා “පියදාස සිරිසේන” බවට පත් විය.

මෙසේ අනගාරික ධර්මපාලතුමා සමීපයේ හැදී වැඩුණ පියදාස සිරිසේන තරුණයා පුවත් පත් කලාවට ද ඇළුම් කළේය. ඒ අනුව 1895 දී “සිතුමිණ” සඟරාවේ උප කතුවරයා ලෙස පුවත්පත් කලාවට සම්බන්ධ විය. එතැන් සිට වදන් පමණක් නොව පන්හිඳ හසුරුවමින් සිංහල ජනයාගේ ජාතික හැඟීම් නැංවෙන ලිපි ලිව්වේය. අනතුරුව 1903 දී “සිංහල ජාතිය” නමින් පුවත් පතක් ආරම්භ කළේය. එහි ශ්‍රීඝ්‍ර වර්ධනයක් වූයෙන් 1905 දී එය සතිපතා පුවත්පතක් බවට පත් කළේය.ඉන් නොනැවතුණු සිරිසේන ශූරීන් “ජයතිස්ස සහ රොසලින්” 1906 දී ද, ඩිංගිරි මැණිකා 1919 දී ද රචනා කරන ලදී. මීට අමතර තරුණියකගේ ප්‍රේමය, අපට වෙච්ච දේ, විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය, පළමුවන පාසල, අද්භූත ආගන්තුකයා, ඉෂ්ට දෙවියා, වලව්වක පලහිලව්ව, ඩෙබර කෙල්ල, මහා වියවුල, මහේෂ්වරී ආදී කෘතින් ද රචනා කරන ලදී.තම පුවත්පත මගින් සිරිසේන සිංහල බෞද්ධයාට බුදුදහමේ ඇති අගය කියා පෑවේය. ඒ නිසාම ඔහුගේ නවකතා ද බෞද්ධාගමට නැඹුරු වූ ඒවා විය.

ඉංග්‍රීසි මිෂනාරී ක්‍රමය විවේචනයට ලක්කළ සිරිසේන ශූරීන් සිංහල භාෂාවේ අගය වැඩිවන අයුරින් ලිපි සකස් කළේය.පර සිරිත් හෙළා දුටු පියදාස සිරිසේනයෝ ක්‍රිස්තියානි ආගම – බටහිර සංස්කෘතිය කිසිසේත්ම මුසු නොවූ පුවත්පත් කලාවක පුරෝගාමියා විය. ඔහුගේ පන්හිඳෙන් ලියැවුණු සෑම වචනයක්ම සිංහලයාගේ සිත තම ජාතියට – ආගමට ඇලුම් කරවන සුළුවිය. මේ නිසාම හෙළයේ වීරයකු ලෙස පියදාස සිරිසේන ශූරීන් හැදින්වීය. ලක්මව පර සිරිතෙන් ගලවා ගැනීමට මහඟු මෙහෙයක් කළ පියදාස සිරිසේන විද්වතානන් 1946 මැයි 22 දා මෙලොව හැර ගියේය.සිංහල සාහිත්‍යය අද වනවිට ඉතා දියුණු තත්ත්වයක තිබේ. එම දියුණුවේ පෙර ගමන් කරුවන් අතර සිරිසේන ශූරීන්ද වේ. රට දැය සමය වෙනුවෙන් පන්හිඳ හසුරවමින් නිහඬ සේවයක් කළ පියදාස සිරිසේන ශූරීන්ගේ 130 වැනි ජන්ම දිනය මෙම අගෝස්තු 31 වැනිදාට යෙදේ. පුවත්පත් කතුවරයකු, සාහිත්‍යයකරුවෙකු, දේශකයකු ලෙස මෙරටට මහඟු සේවයක් කළ පියදාස සිරිසේන යන නාමය සාහිත්‍යය ඉතිහාසයේ සැමදා රැඳෙනු නොඅනුමානය.

Tuesday, August 2, 2016

සිකුරාදා දහවලේ කොටුවේ දෙවන හරස් වීදියේ රතු පල්ලිය ළඟ දුටුව දේ......

              එදා පිටකොටුව දෙවන හරස් වීදියට මා ගමන් කළේ මිතුරියකගේ මැහුම් කටයුතුවලට අවශ්‍ය වන රෙදි කිහිපයක් මිළදී ගැනීමටයි.ඒ වෙනකොට වෙලාව පෙරවරු 11.30ට පමණ වූ නිසා අපි රෙදිකඩ කිහිපයකට ම ගොස් අපට අවශ්‍ය වූ රෙදි වර්ගය සිතු මිලට ආසන්න මිලකට ලබාදීමට කැමති වූ කඩයකින් රෙදි තොග කිහිපයක් ඇණවුම් කොටඅවශ්‍ය වන මුදල් රැගෙන ඒමට බැංකුවට ගොස් අනතුරුව දිවා ආහාරයත් ගෙන ම රෙදි මිළදී ගැනීමට රෙදි කඩයට යන විට වෙලාව පස්වරු 1.30 පමණ විය. ඒ වෙලාවේ අප ඇස ගැටුණු දසුනෙන් අප තරමක් අන්ද මන්ද විය. එක් වරම රතු පල්ලිය දෙසින් එකම හිස් ගොඩක් මතු විය. ඒ සියලු දෙනාම එදා සිකුරාදා පල්ලියේ දේව මෙහෙයට සහභාගී වූ අය බව අපට වැටහිණි. මාවතම අතුරු සිදුරු නැතිව පිරී තිබුණේ මුස්ලිම්  පිරිසගෙන් ය. අප දෙදෙනා අයිනටම වී සිටියේද ඇවිද යාමට තබා අඩියක් තියාගන්නවත් ඉඩක් නොමැති වූ නිසාවෙනි. අපේ රටේ මෙච්චරට ම මුස්ලිම් ජනතාවක් සිටිනවා දැ'යි සිහි වී අපට තරු පෙනුණි. ඒ විතරක්ම නොවේ ඒ එන අතර මඟ අඩියෙන් අඩියට යාචකයන් ද සිටියේ ය. එයින් බහුතරයක් මුස්ලිම් අය වූහ. එක්වරම මාවත වසා ගනිමින් මතු වූයේ මුස්ලිම් අයගේ පිරිමි පාර්ශවයයි. කාන්තාවන් වූයේ නම් ඒ සිඟමන් යැදි අයයි. පිරිමි අයගෙන් විතරක් මෙහෙම මාවත පිරුණානම් කාන්තාවනුත් සිටියේනම් අපට විනාඩි 20ක් නොව පැය 2-3ක්වත් අයිනකට වී සිටිනට සිදුවන බව සිතුණි.

                ජාතිවාදී හැඟීම් තබා ගැනීම නුසුදුසු දෙයක් බව සැබෑය. එහෙත් සිංහලයාට ම තිබෙන රට ලංකාවයි. එහි වෙසෙන ජනතාවගෙන් සිංහලයා සුළු ජාතියක් වුණොත් සිදුවන්නේ කුමක්ද? සිකුරාදා වැනි දිනවල දවල් 12.00 වෙද්දී,වෙළ්ඳසැල්වලින් 8\7 පමණ වැසේ. මෙය සලකා බැලිය යුතු කරුණක් නොවේද? සිංහල පවුලක ළමයි එකා දෙන්නා වෙදිදි මුස්ලිම් පවුල්වල ළමයි දහ පහළොස් දෙනෙකි. තත්ත්වය මෙසේ නම් සිංයල ජනතාව මෙ තත්ත්වය වටහාගෙන අඩු තරමේ පවුලකට ළමයින් පස් හය දෙනෙක්වත් එක් කළගතයුතු නොවේද? නැතිනම් නුදුරේදි සිංහල ජාතියේ අවසානය සනිටුහන් කරන්නට සිදුවන්නේ තමනට කියා රටක්වත් නොමැතිව අනුන්ට පිදුව රටකය.

Saturday, July 30, 2016

කාශ්‍යප දළඳා වහන්සේට මල් දුන් මල්මඩුවාකන්ද නිල්ගල්තලා විහාරය

   දකුණු පළාතත් බස්නාහිර පළාතත් යා කෙරෙන බෙන්තර පාලම පසුකර මඳ දුරක් ගාල්ල දෙසට යද්දී මහ ඉඳුරුව හමුවෙයි. මහ ඉඳුරුව බස්නැවතුම්පලෙන් හෝ දුම් රියපලෙන් බැස සුදුවැලිපොත මාවත ඔස්සේ කිලෝමීටර එකක් පමණ ගියවිට මල්මඩුවාක්න්ද පුරාණ විහාරය දැකගත හැකිය. මල්මඩුවාක්න්ද විහාරයට දිගු ඉතිහාසයක් පවතින අතර ඓතිහාසික වශයෙන්ද එම විහාරස්ථානයට හිමිවන්නේ අද්විතීය තැනකි.
ඉඳුරුව ප්‍රදේශයේ පැරණිම විහාරස්ථානය වන මෙය සද්ධාතිස්ස රජු දවස පටන් භික්ෂූණ් වහන්සේලා නේවාසිකව වැඩ වාසය කොට ඇත. අමරපුර නිකායට අයත් භික්ෂූණ් ද නුවර යුගයේ ගනින්නාසේලා ද වරින්වර මෙයි වැඩ විසූ බව සඳහන් ය.
    මෙම විහාරය වටේම අරලිය මල් ගස්වලින් යුක්ත වූ නිසා මල් මණ්ඩලයක්, මල්,මල් මාලාවක් වැනි වූ නිසා මේ නම ලැබුණු බවයි. ගලපාත විහාරයේ මහා කාශ්‍යප දළඳා වහන්සේට මල් සැපයූ "මල් වඩුවා" මෙහි සිටි බැවින්මල්-වඩුවාක්න්ද නමින් මෙම පුදබිමට මේ නම ලැබුණු බවයි. ගලපාත විහාරස්ථානයේ පිහිටි දළඳා මන්දිරයට පැමිණි දේවපතිරාජ ඇමතිවරයා එහි පුද පූජා පැවැත්වීමට අවශ්‍ය මල් ගෙනවිත් තිබෙනුයේ එවකට නිල්ලපොලය ලෙස හැඳින්වුණු මහ ඉඳුරුව පිහි මෙම විහාරස්ථානයෙනි. ගල්තලාව ඈතට නීලවර්ණයෙන් වූ බැවින් මෙමපුදබිම "නිල්ලපොලය" පුදබිම ලෙස හඳුන්වා ඇත. මහා කාශ්‍යපදළඳා   වහන්සේ දුටුගැමුණු රජුගෙන් සද්ධාතිස්ස යුව රජුට ලැබුණු තිලිණයකි.  දෙවන පැරකුම් රජ බෙන්තොටට පැමිණ තොරණ බැඳ සතියක් මුළුල්ලේ මහා දළඳා පූජාව සිදු කර ඇති අතර එයට මල් සපයා ඇත්තේ "මල්මඩුවාක්න්ද විහාරස්ථානයෙනි.
   මෙම විහාර භූමිය අක්කර 2-3ක පැතිරී ගිය මහ කලුගල් තලාවක් මත පිහිටා ඇත.  පැරණි වෘක්ෂලතාවන්ගෙන් විහාරය අදත් අල්ංකාරව පවති.පළමු වැනි මාලයේ චෛත්‍යරාජයාණන් වහන්සේලා දෙනමක් වැඩ සිටී. එක් විහාරයක චෛත්‍යරාජයාණන් වහන්සේලා දෙනමක් වැඩ සිටීම දුලබ දසුනකි. විහාර මන්දිරයේ දර්ශනීය ලෙස සිතුවම් දැකිය හැකිය.මාර පරාජය කරන සිතුවමේ භූමි ස්පර්ශ මුද්‍රාව දැකිය හැකිය. විහාර මන්දිරයේ එක් පසෙක වැඩිහිටිකන්දේ අනුරුවක් නිර්මාණය කොට ඇත. මෙම විහාරස්ථානයේ ගල් තලාවක් මත ළිං දෙකක් දැකිය හැකි අතර ඒවායේ කිසි දිනෙක දිය නොසිඳෙන බව ජනප්‍රවාදයේ සඳහන් වේ.    ජනප්‍රවාදය සනාථ කරමින් වත්මන් නියං සමයවලදී පවා ළිංවල ජලය නොසිඳී පවතින ආකාරය දැකිය හැකිය. පරැන්නන්ගේ තවත් අදහසක් වන්නේ මේ ළිං මුහුදට යන උමං දොරවල් කියායි. ගල්තලාව මත ළිං දෙකට ඉදිරියෙන් පොකුණක් තිබේ. පොකුණ සමීපයේ ගල් කුළුණකින් දැනට්ට ශේෂව පවතින්නේ කැඩීගිය කොටසක් පමණි. මෙම කුළුණ අග තිබූ කිසියම් පාෂාණයකින් විහිදුවන ලද ආලෝකයක් ගැන ජනප්‍රවාදයේ සඳහන්ය. එක් පසෙකින් බේරුවල ප්‍රදීපගාරයේ ආලෝක ධාරවත් බටහිරෙන් අම්බලන්ගොඩ, අහුන්ගල්ල මායිම් කොටගත් මුහුදු තීරයත්, ඊසන දිගින් ශ්‍රී පාදස්ථානයත් පැහදිලිව පෙනේ. මේ තුන් ස්ථානය පෙනෙනුයේ ත්‍රිකොණයක් ආකරයටය. මේ ස්ථානය මුහුදු ගමන් මාර්ගයේ කිසියම් වැදගත් සංඥා දෙනු ලැබූ ස්ථානයක් සේ ජනප්‍රවාදයේ සැලකේ. ගල්කුළුණ අග තිබෙන්නට ඇත්තේ එළිය විහිඳුවන මැණිකක විය හැකිය. මෙම විහාරස්ථානයේ දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ අඩි දෙකහ මාරක් පළල් වූත් අඩි පහක් පමන දිග වූත් ගල්තලාඅවක් මත ඔබ්බවන ලද ශ්‍රී පාද පද්මයේ අනුරුවයි.
    තවද හාවාගේ රුව කොටන ලද තවත් විශාල කලු ගලක්ද මෙහි ඇත. හාවාගේ රුව යටින් අකුරු පේළි 2ක් වෙයි. එම අක්ෂර පැරකුම් යුගයේ කාසිවල දක්නට ලැබෙන දොළොස්වන සියවස්සට අයත් ඒවා ලෙස සැලකිය හැකිය. විහාරස්ථානයට පැමිණෙන් ප්‍රධාන මවත ඔස්සේ කඳු මුදුනට නඟින අතර මඟ විහාරයට අයත් භූමියේ විශාල නා ගස් දෙකක් දැකිය හැකිය. ඒවා වසර දහසකටත් ව්ඩා පැරණි බව සඳහන්ය.  මෙහි වත්මන් විහාරධිපති ගෞරව ශාස්ත්‍රවේදී දොඩංගොඩ ගුණසීල හිමියන් පවසන පරිදි මෙහි පුරාවිද්‍යාත්මක වශයෙන් අවධානයට ලක්කළයුතු උරුමයන් රැසක පවතී. නිල්ගල්ත්ලා පුරාන විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී සරණංකර දහම් පාසලෙත්, පෙර පාසලෙත් දරුවන් රැසක් ඉගෙනුම ලබති. මෑතකදී ප්‍රදේශයේ ධානපතියෙකුගෙ තනි ධන පරිත්ත්‍යාගයෙන් හිටි පිළිමයක් නිර්මාණයකොට විහාරයට පූජාකොට ඇත.
     
දොඩංගොඩ ගුණසීල හිමි

සූරියවැව සංවර හිමි







මෙම අතීත උරුමයේ අන්හිමානය මතුපරපුරටත් උරුම කරදීම කාගේත් වගකීමක් වනු ඇත.

Monday, July 25, 2016

පාසලක් අරක්ගන්නා නොමිනිසුන්

පාසලක මුල් පුටුව විදුහල්පතිවරයා හට හිමි වුණත් අද වන විට බොහොමයක් පාසලවල විදුහල්පතිවරුන් විවිධ පාලන හස්තයන්ට ගොදුරු වී තිබීම බරපතල ඛේදවාචකයකි.ජනප්‍රිය යැ'යි සම්මත පාසල් බොහොමයක් ප්‍රබල දේශපාලක සහ ව්‍යාපාරික අතකොලු බවට පත් වී තිබීම දැයේ දරුවන්ගේ අවාසනවකි. නගරාසන්නව තත්ත්වය මෙහෙම වෙද්දී ග්‍රාමීය ප්‍රදේශවලදී දැකිය හැකි දෙයක් වන්නේ තම පුද්ගලික වුවමනවන් ඉටුකර ගැනීම වෙනුවෙන් තම ගමේ පාසලේ විදුහල්පතිතුමාව මෙහයවන ස්වරූපයකි. කැලේ පිපෙන මල් කැලේ ම පරවී යා යුතු යැ'යි සිතන පහත් සිතුවිලි ඇති මිනිසුන් නිසා මිලින වී යන මල් කැකුලු බොහොයි. පාසල් දියුණු කරන මුවාවෙන් නොමිනිසුන් තම කුහක අරමුණු මුදුන්පත් කරගැනීමට දරණ ප්‍රයත්නයන්ට විරුද්ධව කටයුතු නොකරන තාක් තත්ත්වය මෙසේ පවතිනු ඇත.