මගේ නිර්මාණ කියවූවන්

Tuesday, August 16, 2016

බෙන්තර අතුරුවැල්ලේ උපන් සාහිත්‍යය නිර්මාණකරු

පියදාස සිරිසේන ශූරීන්

Image result for piyadasa sirisena




1875 අගෝස්තු 31 වැනිදා දොන් ජුවන් අප්පුහාමි ගේ පේදිරිස් සිල්වා නමින් ළදරුවකු උපත ලැබුවේය. ඒ බෙන්තර වළල්ලාවිට කෝරළයේ ඉඳුරුවේ අතුරුවැල්ලේ දීය. කුඩා පේදිරිස් කතාවට මෙන්ම ගායනයට ද දක්ෂ විය. එනිසාම ඕනෑම සබයක කවියක් හෝ කතාවක් කිරීමට නොපැකිලිව ඉදිරිපත් විය. මෙසේ දිනක් එක් සබයකදී කවියක් ගායනා කළ පේදිරිස් දරුවා එක් විද්වතෙක් තමා වෙතට ඔහු කැඳවා ගත්තේ ය. ඒ විද්වතා නම් අන් කවරෙක් වත් නොව අනගාරික ධර්මපාල තුමා ය. මේ දරුවාගේ කවි ගායනාව පිළිබඳ පැහැදුණු ධර්මපාල තුමා ඔහුගේ නම ඇසූ පමණින් එය නුසුදුසු බව වටහා ගත්තේය. ඒ අනුව ඔහුට සුදුසු නමක් තැබීමට ධර්මපාල තුමා කටයුතු කළේය. ඒ අනුව පේදිරිස් සිල්වා “පියදාස සිරිසේන” බවට පත් විය.

මෙසේ අනගාරික ධර්මපාලතුමා සමීපයේ හැදී වැඩුණ පියදාස සිරිසේන තරුණයා පුවත් පත් කලාවට ද ඇළුම් කළේය. ඒ අනුව 1895 දී “සිතුමිණ” සඟරාවේ උප කතුවරයා ලෙස පුවත්පත් කලාවට සම්බන්ධ විය. එතැන් සිට වදන් පමණක් නොව පන්හිඳ හසුරුවමින් සිංහල ජනයාගේ ජාතික හැඟීම් නැංවෙන ලිපි ලිව්වේය. අනතුරුව 1903 දී “සිංහල ජාතිය” නමින් පුවත් පතක් ආරම්භ කළේය. එහි ශ්‍රීඝ්‍ර වර්ධනයක් වූයෙන් 1905 දී එය සතිපතා පුවත්පතක් බවට පත් කළේය.ඉන් නොනැවතුණු සිරිසේන ශූරීන් “ජයතිස්ස සහ රොසලින්” 1906 දී ද, ඩිංගිරි මැණිකා 1919 දී ද රචනා කරන ලදී. මීට අමතර තරුණියකගේ ප්‍රේමය, අපට වෙච්ච දේ, විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය, පළමුවන පාසල, අද්භූත ආගන්තුකයා, ඉෂ්ට දෙවියා, වලව්වක පලහිලව්ව, ඩෙබර කෙල්ල, මහා වියවුල, මහේෂ්වරී ආදී කෘතින් ද රචනා කරන ලදී.තම පුවත්පත මගින් සිරිසේන සිංහල බෞද්ධයාට බුදුදහමේ ඇති අගය කියා පෑවේය. ඒ නිසාම ඔහුගේ නවකතා ද බෞද්ධාගමට නැඹුරු වූ ඒවා විය.

ඉංග්‍රීසි මිෂනාරී ක්‍රමය විවේචනයට ලක්කළ සිරිසේන ශූරීන් සිංහල භාෂාවේ අගය වැඩිවන අයුරින් ලිපි සකස් කළේය.පර සිරිත් හෙළා දුටු පියදාස සිරිසේනයෝ ක්‍රිස්තියානි ආගම – බටහිර සංස්කෘතිය කිසිසේත්ම මුසු නොවූ පුවත්පත් කලාවක පුරෝගාමියා විය. ඔහුගේ පන්හිඳෙන් ලියැවුණු සෑම වචනයක්ම සිංහලයාගේ සිත තම ජාතියට – ආගමට ඇලුම් කරවන සුළුවිය. මේ නිසාම හෙළයේ වීරයකු ලෙස පියදාස සිරිසේන ශූරීන් හැදින්වීය. ලක්මව පර සිරිතෙන් ගලවා ගැනීමට මහඟු මෙහෙයක් කළ පියදාස සිරිසේන විද්වතානන් 1946 මැයි 22 දා මෙලොව හැර ගියේය.සිංහල සාහිත්‍යය අද වනවිට ඉතා දියුණු තත්ත්වයක තිබේ. එම දියුණුවේ පෙර ගමන් කරුවන් අතර සිරිසේන ශූරීන්ද වේ. රට දැය සමය වෙනුවෙන් පන්හිඳ හසුරවමින් නිහඬ සේවයක් කළ පියදාස සිරිසේන ශූරීන්ගේ 130 වැනි ජන්ම දිනය මෙම අගෝස්තු 31 වැනිදාට යෙදේ. පුවත්පත් කතුවරයකු, සාහිත්‍යයකරුවෙකු, දේශකයකු ලෙස මෙරටට මහඟු සේවයක් කළ පියදාස සිරිසේන යන නාමය සාහිත්‍යය ඉතිහාසයේ සැමදා රැඳෙනු නොඅනුමානය.

12 comments: