සරල
වසර කිහිපයකට පෙර නිවසක් තැනීමට දැමූ අත්තිවාරම වසාගෙන ඉහළට වල් පැළැටි මතු වී තිබුණි. මොහොතක් ඒ දෙස බලා සිටි සරලා කල්පනා සයුරේ ගිලිණි. ඇය පාසලේ නවය පංතියේ දී තාත්තා විසින් නිවසක් තැනීමේ කටයුතු ආරම්භ කරද්දී ඉහේ මලක් පිපුණාක් මෙන් උනන්දුවෙන් පුළුවන් විදියට ඊට සහය වූ සැටි ඇයට සිහිපත් විය. එසැණින් ඇගේ මුවින් ගිලිහුණේ,
"ඒත් තාත්තාගේ බේබදුකම නැති වෙච්ච නැති නිසානේ මේක අත්තිවාරම විතරක් වුණේ”
උසස්පෙළ ප්රතිඵල පිටවීමට තවත් කාලයක් ගතවන නිසා ඇය තවත් යෙහෙළියන් කිහිපදෙකේ සමඟ සිදාදියට සෙන්දු වුයේ කෙසේ හෝ ජීවිතය ජය ගැනීමේ අරමුණින් යුක්තවය. ඇඟළුම් කම්හලක සේවයට එක්වුණු ඇයට එහි ප්රවාහන පහසුකම් සහ කෑම බීම සපයාදීම මහත් අස්වැසිල්ලක් විය. කොතරම් අඩු පහසුකම් තිබුණ ද ඇය දිරිමත් කෙල්ලක් විය. කා අතරත් ජනප්රිය, ප්රසාදයට පත් විය.
ආපන ශාලාවේදී දිනක්,
"සරලා නම් මාර නීට් කෙල්ල, එක පාරක් කියල දුන්නම මහනවා හැඩට එක ඩැමේජ් එකක්වත් නෑ ’යි යෙහෙළියන් කතාබහක යෙදුණාය.
මේ අතර සරලාගේ ළඟ ම මිතුරිය වුයේ කසුනි අක්කා ය. දිනක් කසුනි අක්කා පැවසූ වදනකින් සරලාගේ ජීවිතය වෙනස් මඟක් ගන්නට විය. එය අපූරු දවසකි. එදා වැඩ අඩු තරමක් නිදහස් දවසකි. කසුනි අක්කා තම සිතෙහි මෝදුවන අදහසක් සරලා සමඟ පැවසීය.
"නංගියේ මට මේ ළඟදී දවසක මං රට වැඩ කරපු නෝනා කතා කළා එයා කියනවා මං වගේ හොඳට වැඩ කරන කෙනෙක් තාම ලැබුණේ නැතිලූ. ආයෙමත් එන්ඩ කිල මට වදේ. සිනහවකින් මුව සරසාගත් කසුනි අක්කා සරලාගේ අත්න් අල්ලා ගනිමින් මෙසේ පැවසුවා ය. ”ඒක නෙවෙයි හොඳ කාරණේ මට විශ්වාස තව හොඳ ගෑණු ළමයෙක් එක්ක එන්ඩ කීවා පුළුවන් නම් ”
කසුනි අක්කා මේ කියපු දේ ඇසීමෙන් සරලාට සිහි වුයේ කසුනි අක්කා කලින් තමා සමඟ පවසා ඇති දේවල් ය. වසර 3ක් පමණ විදේශ රටක සේවය කොට තමාගේ රන් ආභරණ සාදා ගත් සැටිත් ඒ විතරක් නොව ඉඩමක් මිලට ගත් සැටිත් කසුනි අක්කා නිතර නිතර දැඩි සතුටකින් යුතුව පවසන අයුරු ඇයට මතකයට නැඟිණි.
තවත් ටික වේලාවකින් කසුනි අක්කා තවත් යමක් පැවසුවා ය. ඒ පිළිබඳව එවේලෙහි ප්රශ්න කිරීමට නොගිය ද සරලාගේ සිත මඳක් චංචල විය. කසූ අක්කා පැවසුවේ,
"මේ නංගියේ දවල්ට කාලා ආවහම මං උඹට හොඳ ම වැඬේ කියන්නම්කෝ”
නිම කිරීමට තිබූ වැඩ නිමා කරන විට දහවල් ආහාරය සඳහා කාලය එළඹී තිබිණි. කසූ අක්කාත් කැටුව දිවා ආහාරය ලබා ගැනීමට ගිය සරලාගේ සිතෙහි කසූ අක්කා මුලින් කියූ දේ ගැන උනන්දුවක් ඇති විය. වෙනදාට වඩා ආහාරවල රසවත් බවක් ද දෙදෙනාට ම දැනී තිබුණි. ආහාර ගෙන අවසන් වී එන අතරමඟ දී කසුනි අක්කා
”මං කීවේ අර නෝනා කිවුවා කියලා තව හොඳ කෙනෙක්ව එක්කන් එන්න කියලා................. ඉතිං....... මං හිතුවා හොඳ ම කෙනා නංගි ඔයා කියලා............. මොකද කියන්නේ?”
ආපන ශාලාවත් වැඩ කරන ශාලාවත් අතර අරලියමල් ගස් පෙළකි. කසුනි අක්කාගේ කතාව අවසන් වන විට ම වාගේ සරලාගේ හිසට අරලිය මලක් වැටුණේ ඉහේ මලක් පිපුණාක් මෙනි. කසූ කියූ දෙයින් ඇය ඉතා ප්රමෝදයට පත් වූයේ පිටරටක සේවයට ගොස් සේවය කොට තම සිතැඟි ඉටු කරගැනිමට පුළුවන් නම් කොයි තරම් දෙයක් ද යන්න කාලයක පටන් තම සිතෙහි දළුලා වැඩුණු අදහසක් වූ හෙයිනි. එහෙත් සරලාගේ මුවට නැඟුණු සුන්දර සිනහව මොහතකින් වියැකී යන සැටි දුටු කසූ වහා ඇගේ සිතැඟි තේරුම් ගත්තා ය.
"උඹ බය වෙන්න එපා නංගියේ මැඩම් අපි දෙන්නට ම ටිකට් එවනවා. සල්ලි ගැන වද වෙන්න එපා.”
මේ වදන් හදේ දැල්වුණු සෝක ගිනි නිවන සිසිල් දිය පොදක් විය. සියල්ල මෙසේ වුවත් ගෙදර ගිහින් අම්මාගෙන් අවසර ගතයුතු බව සරලා කසූ අක්කා සමඟ පැවසුවා ය. එදා ඇය නිවසට ගියේ තමාගේත් නිවැසියන්ගේත් ප්රශ්නවට කදිම විසඳුමක් ලැබූණායැ’යි සිතට දැනෙන සතුටකින් යුතුව ය.
වෙනදාට වඩා සරලාගේ මුහුණේ පිරුණු සතුටක් දුටු සරලාගේ මවට යම් බියක් දැනෙන තරමට අමුතු ම එළියක් සරලාගේ වතෙහි විය. සරලාගේ පසුපසින් ගිය මව
"කවදාවත් නැතුව ආ මොකද උඹේ මූණේ අමුතු සිරික්කියක්”
මව ඇසූ පැනයෙන් සරලා විමතියට පත් විය.
"අනේ අම්මා ඇයි මේ අඟට කඩා පනින්න වගේ කතා කරන්නේ මොකද දන්නවද අද මගේ මේ සතුට කසුනි අක්කා මට කතා කළා එයත් එක්ක රට යන්න එන්න කියල. මං අම්මට කියල තියෙනවනේ කසූ අක්කා ඒ ගැන මගෙත් එක්ක කියපු කතා. අනික ඒ මැඩම් අපි දෙන්නට ම ටිකට් එවනවලූ.”
සරලා ගිරවියක් මෙන් කියවගෙන ගොස් හමාර වන විට ඇගේ මුව සතුටින් ඉපිලී ගිය ද මවගේ මුහුණෙු වූයේ කණස්සලූ ගතියකි.
"අනේ බං උඹලගේ තාත්තා බි බී දැඟලූවට දැන් ඒකත් අඩුයි. අනික උඹලව හැදුවේ පර රට්ටුන්ගේ කකුස්සි හොදන්න නෙවෙයි. අනික අහන කතාවල හැටියට හිතකින් යවන්ඩ පුළුවනැ ඔය දේස දීපංකරේ.”
"අනේ අම්මා කසුනි අක්කාත් යනවනේ. ඒ නිසා ඉය වෙන්න එපා. මට ඕන අපේ මේ ගේ හදා ගන්න. මං පරිස්සම් වෙන්න්ම්.”
මෙවැනි වදන් රැසක් පවසා සරලා අම්මාගේ කැමැත්ත ලබා ගැනීමට සමත් වූවා ය. අනතුරුව ඇඟපත සෝදා රාත්රී ආහාරය ගෙන නින්දට වැටුණා ය. එහෙත් ඇයට නින්ද ඉක්මනින් ළඟා වුයේ නැත. මේ අතරතුර අම්මා තාත්තා සමඟ මොනවදෝ මුමුණනවා ඇයට ඇසිනි.
පසු දින උදේ අවදි වුණු ඇය ඉවුම් පිහුම් කටයුතු සඳහා මවට සහය විය. තාත්තා ඔවුන් දෙදෙනා අතරට පැමිනි තාත්තා
"මං උඹලට හරියට යුතුකම් ඉටු නොකළ එක ඇත්ත, ලොකු එකී නිසා උඹට ගෙදර බරත් තියෙනවා. ඒත් ඔය යන්න හදන ගමනට නම් මගේ මනාපයක් නෑ. කසුනි දුවත් යන නිසා මං පොඞ්ඩක් හිතල බලන්නම්කෝ”
තාත්තාගේ ප්රතිචාරය පිළිබඳව ඇය පුදුම විය. වෙනදාට වඩා උනන්දුවකින් සේවා ස්ථානයට ගිය සරලා කසුනි අක්කා සමඟ සියල්ල පැවසුවා ය. ගතවුයේ ඉතා කෙටි කාලයකි. සරලා ජෝර්දානය බලා කසුනි අක්කා සමඟ පිටත් විය. ගුවන් ගමනින් සරලා මහත් වින්දනයක් ලැබී ය.
කසුනි අක්කා සේවය කරන නිවස අසල ම ඇයට ද සේවය කිරීමට පහසුකම් සැලසීම දෙදෙනාට ම මහත් අස්වැසිල්ලක් විය. දවසේ වැඩ කටයුතු පිරී තිබුණ ද හාම් පුතාගේ සහ නෝනාගේ කරුණාව මැද සියල්ල සතුටින් කිරීමට ඇයට හැකි විය. එහෙත් සමහර දිනවල අම්මා තාත්තා සිහි වී හොරෙන් හොරෙන් ඉකි බිඳින අවසිථා ද තිබිණි.
"අනේ මගේ අම්මා ළඟ හිටිය නම්” කියල මුවින් ගිලිහුණු වාර අනන්තයි. මේ සියලූ දේ මැද ඇය ගෙදර වියදමට මුදලූත් නිවස තැනීමට අවැසි මුදලූත් යැවුවා ය. මුදල් අතේ ගැවසෙන විට තාත්තා ආයෙත් බේබදුකමට ඉස්සර වගේ ම පුරුදු වේ ය’යි යන බියෙන් ඇය නිවසක් තැනීමට අවැසි මුදල් වෙනම ගිණුමකට බැර වන පරිදි සකසා ගත්තේ බැංකු නිළධාරනියකගේ උපදෙස් පරිදි ය.
වසර තුනකට පසුව නැවත ලංකාවට පැමිණෙන දිනය ළං විය. කසුනි අක්කා තවත් වසර දෙකක් සිටින නිසා ඇයට තනිව ම ලංකාවට ඒමට සිදු විය. තමාට හොඳින් සැලකූ අය දමා ඒමටත් කසුනිගෙන් වෙන් වීමටත් ඇ තුළ ඇත්තේ මහත් දුකකි. ඒත් දැන් ලංකාවට ගිය විගස නිවසේ වැඩ කටයුතු ආරම්භ කළ යුතු ය. නිවසක සිහිනය හැබෑකර ගැනිමට ඇයට සැලසි ඇති අවස්ථාව සම්බන්ධයෙන් පවතින්නේ කියා ගන්නවත් බැරි සතුටකි. නැවත ලංකාවට පැමිණිමට ගුවන් තොටුපලට ගිය ඇය කසුනි අක්කාට වැඳ පිං දුන්නා ය. ගුවන්යානයට ගොඩවීමට සැරසෙන විට ම ඇයව කවුදෝ සොලවනවා සේ ඇයට දැණිනි.
"ඒ බොල කෙල්ලේ උඹට මේ මොකක් වෙලා ද ඇයි මේ අඬන්නේ? දැන් වේලාව කියද? හතත් පහුවෙලා නැඟිටපං අන්න උඹව හම්බවෙන්ඩ නෝනල මහත්තයල වගයක් ඇවිත්. ගිහින් බලපං”
මේ වදන් ඇසෙත් ම ඇය සිහිනයකින් අවදි වූ බව දැනිනි. වහා ළිඳ ළඟට දිවූ ඇය මුහුණකට යන්තමට හෝදගෙන මිදුලට ආවා ය. ඇගේ නෙත යොමු වුයේ තම මිදුල අයිනේ පාරේ නවතා තිබූ වෑන් රිය වෙත ය. එහි දැන්වීම දුටු සරලා විමතියට පත් විය. එහි වූයේ ”ජනසෙත නිවාස සහන සංවිධානය” ලෙසට ය. ඇයට සියල්ල වටහා ගැනිමට හැකි විය. මෙකි සංවිධානය මඟින් පවත්වන ලද තරඟයකට තමා නිර්මාණයක් යැවූ බව ඇයට සිහිපත් විය.
පෙරදින රාත්රියේයේ තමා සිහිනයෙන් අමාරුවෙන් ඉටු කරගත් දේ දැන් ඇස් ඉදිරියේ ඇත. මෙතරම් සරලව සිහිනය ඉටු වූ බව සරලාට සරල පැනයක් නොවුණි.
good..
ReplyDeletethanks dr
DeleteGood task
ReplyDeleteGood task
ReplyDeletesaralamath nane....
ReplyDeletelassanai...
ReplyDeletegood.. keep up...
ReplyDeleteලස්සන කතාවක්.
ReplyDelete